58කට මරු කැඳවූ ලාස්වේගාස් ප්‍රහාරයේ පැටිකිරිය මෙන්න



58කට මරු කැඳවූ ලාස්වේගාස් ප්‍රහාරයේ පැටිකිරිය මෙන්න
ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට අනතුරක් සිදුවෙලාද?


ඇමෙරිකාවේ, නෙවාඩා ප්‍රාන්තයේ පිහිටි ලාස් වේගාස් හි ඉකුත්දා (01) රාත්‍රියේ සංගීත ප්‍රසංගයක් අතරතුර වෙඩි තැබීමක් සිදු වුණා.


එහිදී මියගිය පිරිස 58ක් දක්වා වැඩි වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වල දැක්වෙන්නේ. එහිදී තුවාල ලැබූ පිරිස 515ක් වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කර ඇත්තේ ඔහු විසින් වෙඩි ප්‍රහාර සිය ගණනක් එල්ල කර ඇති බවයි. ලාස්වේගාස් හි “මැන්ඩෙලා බේ” හෝටලයේ 32 වන මහලේ සිට 64 හැවිරිදි ස්ටෙෆන් ෆැඩොක් නැමැති පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

පසුව තුවක්කුකරු ද වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. ඔහුගේ කාමරය තුළ තිබී ගිනි අවි 10ක් ද එරට පොලීසිය විසින් සෙයාගෙන තිබෙන අතර වෙඩික්කරු මීට මාස කිහිපයකට පෙර ඉස්ලාම් දහම වැළඳ ගත්තෙකු බව පවසමින්, ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබුණත්, ප්‍රහාරය සමග ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක සබඳතාව මේ දක්වා තහවුරු වී නොමැති බව FBI ආයතනය අවධාරණය කරනවා.

මේ අතරම වෙඩික්කරුවා සමගින් පැමිණි ඔහුගේ පෙම්වතිය බව කියන ආසියානු සම්භවයක් සහිත මාරිලොයු ඩැන්ලේ පොලිස් අත්අඩංගුවට පත්වූවද, ඇය මෙම ප්‍රහාරය හා සබඳතාවත් නොමැති බව හෙළි වී තිබෙනවා.

මේ අතර එම ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට අනතුරක් සිදුවී නොමැති බව වාර්තා වන අතර ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරල් ස්වර්ණා ගුණරත්න මහත්මිය සඳහන් කර ඈත්තේ අදාල ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට අනතුරක් සිදුවී ඇත්ද යන්න තවමත් සොයා බලමින් සිටින බවයි.












www.reader.lk