බිරිඳ කරාබු දෙකත් උකස් කළා - ආනන්ද අතුකෝරාල කිව්ව සම්පුර්ණ කතාව


බිරිඳ කරාබු දෙකත් උකස් කළා - ආනන්ද අතුකෝරාල කිව්ව සම්පුර්ණ කතාව


මුල් කාලයේ තමන්ගේ නාට්‍ය පුහුණුවීම් සදහා බිරිඳ කරාබු පවා උකස් කළ බව රංගන ශිල්පී ආනන්ද අතුකෝරාල පවසනවා.

ඔහු මේ බව සදහන් කර තිබුනේ ලක්බිම පුවත් පත සමග කලතා බහකට එක් වෙමින්.

ඔහු පවසන්නේ තම බිරිඳගේ සහයෝගයෙන් මෙම තත්වයට තමන් ගොඩනැගුනු බවයි.


ඔහු සමග කල සම්පුර්ණ කතාව පහතින් බලන්න..


ඔබේ රංගන දිවියේ ආරම්භය සිහිපත් කරමින්ම මේ කතාබහ අරඹමු
මගේ ගම් පළාත හොරණ. මුලින්ම නාත්තන්ඩිය දම්මිස්සර විදුහලින් අධ්‍යාපනය ලබලා ඉන් පස්සේ මාදම්පේ මධ්‍ය මහා විදුහලින් වැඩිදුර අධ්‍යාපනය ලැබුවා. පාසල් වේදිකාවෙන් තමයි රංගනයට අත්‍පොත් තැබුවේ. ඒ වගේම ගමේ විවිධ ප්‍රසංගවල රඟපෑවා. ගීත ගායනා කළා. පාසල් අධ්‍යාපනය ඉවර වුණාට පස්සෙත් රංගනයට ඇති ඇල්ම ඒ ආකාරයටම පැවතුණා. ඔය කා‍ලේ පුවත්පත්වල නවක නළු නිළියන් ඉල්ලලා දාන දැන්වීම්වලට ඉල්ලුම් කළා.


සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහතා විසින් ඔහුගේ නවතම නිර්මාණයට නළු නිළියන් අවශ්‍ය බව දන්වලා පුවත්පතක පළකර තිබූ දැන්වීමක් අනුව ඉල්ලුම් කරලා ඒ මහතාගේ “සොක්කානෝ රජානෝ” නාට්‍යයේ සුළු චරිතයකට එක්වන්න අවස්ථාව හිමිවීම තමයි මේ ක්ෂේත්‍රයේ දොරටු විවර වූ අවස්ථාව වුණේ. ඒ අසූව දශකයේ මුල් භාගයේදී. ඉන් පසුව දිගටම එම නාට්‍යයේ රැඳී සිටියා. පසු කාලෙක එහි ප්‍රධාන නළුවා ඉවත්වීමෙන් පසුව ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා. ඔය අතර දිගින් දිගටම වේදිකා නාට්‍ය සඳහා අවස්ථා ලැබුණා.



වේදිකාවෙන් පුංචි තිරයටත් රිදී තිරයටත් එකතු වූ ආකාරයත් කතා කරමු?
ටෙලි නාට්‍යවලට එකතු වූයේත් අසූව දශකයේදීම තමයි. ඒ ධම්ම ජාගොඩ මහතාගේ මිහිකතගේ දරුවෝ” ටෙලි නාට්‍යයෙන් ඉන්පසු දිගටම වේදිකා සහ ටෙලි නාට්‍යවල රැඳී සිටියා. “ජැක් ඇන්ඩ් ජිල්” සිනමා පටයෙන් තමයි සිනමාවට එකතු වුණේ.
දශක හතරකට ආසන්න කාලයක් කලාවේ රැඳී සිටි ඔබ රංගනයේදී තෝරාගැනීම් සිදු කරනවාද ? නැතිනම් ලැබෙන ඕනෑම චරිතයක් රඟපාන නළුවෙක්ද?

සිනමාව සහ වේදිකාව තුළ තෝරාගැනීම් කරනවා. ඒත් ටෙලිනාට්‍යය තුළ නම් තෝරාගැනීම් කරන්නේ නැහැ.

ඊට හේතුව ?
කලා නිර්මාණ කෙරෙන්නේ වේදිකාවේ සහ සිනමාවේදී. ඒත් ටෙලි නාට්‍යය ඊට වෙනස් එහි මුල්තැන වාණිජ පරමාර්ථ මත සිදුවන්නේ. ඒක රූපවාහිනී මාධ්‍යයේ ස්වාභාවය. මම වෙනත් රැකියාවක් කරන්නේ නැහැ. ජීවත් වෙන්නේ කලාවෙන් නම් අපේ පැවැත්ම ගැන හිතන්න වෙනවා. ඒ හින්දා ඕනෑම ටෙලි නාට්‍යයක්, ඒ වගේම මොකක් හෝ රූපවාහිනී වැඩසටහනක්, රියැලිටි වැඩසටහනක් වුණත් භාරගන්නවා. ඒ ආර්ථිකය ගැන හිතලා. ඒත් වේදිකාව සහ සිනමාව තුළ නම් නිර්මාණයකට දායක වන්නේ මුදලට වඩා කලාව ගැන හිතලා. එහිදී නම් තෝරාගැනීම් කරනවා.
කලාවෙන්ම ජීවන පැවැත්ම සකසා ගනිද්දී ගැටලු මතුවන්නේ නැද්ද ?
ඇයි නැත්තේ, මාසෙකට ලැබෙන මුදල මෙච්චරයි කියල මමවත් දන්නේ නැහැ. මගේ බිරිඳ නිශානි නෙල්කා අතුකෝරාලගෙන් ලැබෙන සහය හින්දම තමයි මම මේ විදියට මගෙ පැවැත්ම සකසාගෙන ඉන්නේ. ඇය මුල් කාලයේ කරාබු දෙක උගස් තියලා පවා මගේ නාට්‍ය කරන්න මුදල් දීල තියෙනවා. ලැබෙන මුදල අනුව ජීවන පැවැත්ම සකසාගන්න හින්ද ගැටලුවලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවනි.


ආනන්දගේ එකම දියණිය රංගනය තුළින් ඉදිරියට යවන්න කැමති නැද්ද ?
මගේ දුව ඉෂාරා අතුකෝරාලට වයස 22 යි. දුව උසස්පෙළ අවසන් කරලා ඉන්නේ. ඇය “ආත්මා” ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඒත් දුවව පූර්ණ කාලීනව රංගනයට එවන්න නම් කැමති නෑ. එයා ගෑනු ළමයෙක්නේ.

ඇයි ගෑනු ළමයෙකුට මේ ක්‍ෂේ්ත්‍රය සුදුසු නැද්ද ?
කලා ක්‍ෂේත්‍රය ඉතා උත්තරීතර ක්‍ෂේ්ත්‍රයක්. ඒත් ඒ ක්‍ෂේ්ත්‍රයේ විවිධාකාර අය ඉන්නවා. ඒ අතර ඉන්න සමහරු හින්දා තමයි ක්‍ෂේත්‍රයේ නම කැතවෙන්නේ. ඒ හින්දා ගෑනු ළමයෙක් මේ ක්‍ෂේත්‍රයට එවද්දී ටිකක් හිතන්න වෙනවා.

ආනන්ද දශක හතරකට ආසන්න කාලයක් ක්‍ෂේත්‍රයේ රැඳිල ඉඳලත් ආර්ථික අර්බුදවලට මුහුණ දෙනවා. ඒත් අද ගීත රූප රචනාවක් දෙකක් රඟපාලත් ලක්ෂ ගණන් හම්බකරන අය ඉන්නවා ?


කෙටි කලකින් ජනප්‍රිය වන අය, ඉතා හදිසි ගමන් යන අය, ඒ වගේම ඇතිවෙලා නැතිවෙලා යන අය අරගෙන බැලුවොත් ඒ අතරින් බහුතරයක් ටීවී එක මුල් කරගෙන ආව අය. ඒ අය එක්කෝ ටෙලි නාට්‍යයකින් එහෙම නැතිනම් කවර හෝ ටීවී වැඩ සටහනකින් තමයි ඇවිත් ඉන්නේ. ඒත් සිනමාව හෝ වේදිකාව ඊට වෙනස්. වේදිකාව කියන්නේ හොඳ රංගන පාසලක්. අපේ රටේ කලාව හදාරන්න තැනක් නැහැ. වේදිකාව ඊට හොඳ තෝතැන්නක්. කලා ක්‍ෂේත්‍රයේ රැඳී හිදින කලාකරුවන් අතරින් සියයට අනූවක්ම වේදිකාවෙන් පැමිණි අය. ඒ අය අතර එක රැයින් ජනප්‍රිය වූ චරිත නැති තරම්. ඔබ කී ආකාරයේ අය බහුතරයක්ම ඇතිවී නැතිවී යන අය. මම එතැන නැහැ. ඒත් මම තවමත් කේෂ්ත්‍රය තුළ රැඳී සිටින එක ගැන මට සතුටුයි .


එක රැයින් ජනප්‍රිය වන අයට පවතින්න බැරිද?
පැවැත්මට අවශ්‍ය ප්‍රධාන සුදුසුකමක් තමයි කැපවීම. සාමූහික බව.. වේදිකාවෙන් පියවරින් පියවර එද්දී ඒ පුහුණුව අපට ලැබුණා. ලැබෙන මුදල සහ පරිබාහිර දේට වඩා අප හිතන්නේ නිර්මාණය ගැන. ඒත් එක රැයින් අසීමිත ජනප්‍රියත්වයක් ලැබුණම එහෙම නැහැ. ඒ අයට අවශ්‍ය වෙන්නේ ඒ ලැබූ ජනප්‍රියත්වය පවත්තවා ගන්න. එහෙම වුණාම සමහර වෙලාවට තමන්ගේ ජනප්‍රියත්වය කළමනාකරණය කරගන්නත් අමාරු වෙනවා. පැවැත්ම නැතිවී යන්නට ඒ හේතු බලපානවා.

www.reader.lk