කතරගම දෙවියොත් මගේ පැත්තෙ - බස්නායක නිලමේ කියයි


කතරගම දෙවියොත් මගේ පැත්තෙ - බස්නායක නිලමේ කියයි
කතරගම රුහුණු මහා දේවාලයේ සිදු සිද්ධියක් සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් ඇති වී තිබෙනවා. ඒ බස්නායක නිලමේවරයා සහ කපුමහතුන් අතර ඇතිවූ අර්බුදයක් හේතුවෙන්.

මෙම අර්බුදය තවමත් විසඳි නැති අතර මේ සම්බන්ධයෙන් කතරගම රුහුණු මහා දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතාගෙන් පුවත් පතක් කළ විමසීමකදී ඔහු සදහන් කර ඇත්තේ දේවාලය සම්බන්ධයෙන් අනිසි බලයක් ක්‍රියාත්මක කර නොමැති බවයි.


එමෙන්ම කතරගම දෙවියන්ගේ ආශීර්වාදය ද තමනට හිමි වන ඇති බවයි ඔහු එහිදී සදහන් කර ඇත්තේ.


ඔහු සමග කල කතාබහ පහතින් බලන්න.

කතරගම රුහුණු මහාදේවාලයේ කපු මහතුන් සහ ඔබ අතර ඇති වූ ගැටුමක් නිසා පසුගිය 22 වෙනිදා අලුයම දේවාලය තාවකාලිකව වසා දැමීමට සිදුවී තිබුණා. ඊට හේතුව කුමක්ද?
කතරගම මහා දේවාලයේ ආගමික කටයුතු භාර ප්‍රධාන කපු මහතුන් පස් දෙනෙකු සිටිනවා. ඔවුන් සේවය කරන්නේ වාරික ක්‍රමයකට. මේ සිද්ධිය හා සම්බන්ධ වන්නේ ඒ අතරින් වාරික දෙකක් හිමි කපු මහතුන් දෙදෙනෙකු පමණයි. ඒ දෙදෙනාත් ඥාතීත්වයෙන් මාමණ්ඩිය හා බෑනායි. ඔවුන් සෙසු කපුමහතුන්ට එම අවස්ථාව ලබා දීම ප්‍රතික්ෂේප කිරීම මතයි මෙම ගැටළුව ඇති වුණේ.
නමුත් කතරගම දේවාලය වැනි තැනක මෙබඳු ගැටුම් ඇතිවීම බැතිමතුන්ගේ කලකිරීමට හේතුවක් නේද?
ගැටළු වලින් අත්මිදුණු තැනක් මිනිස් සමාජයේ කොතනකවත් නැහැ. කතරගම දේවාලයත් ආයතනික ව්‍යුහයක් මත පාලනය වන්නක්. ඕනෑම ආයතනයක පරිපාලනමය ගැටලු ඇති විය හැකියි. මෙම ගැටලුවට මුල් වුණෙත් එවැනි පරිපාලනමය ප්‍රශ්නයක්.
මොකක්ද ඒ ප්‍රශ්නය?
කන්ද උඩරට රාජධානි සමයේ සිටම කතරගම දේවාලය පාලනය වනුයේ බස්නායක නිලමේවරයෙක් යටතේයි. ඒ පුරාණ සම්ප්‍රදාය 1931 අංක 19 දරණ විහාර හා දේවාලගම් පණත මඟිනුත් නීතිගත කර තිබෙනවා.
මෙම නීතිය යටතේ දේවාලයේ සමස්ත පරිපාලනය බස්නායක නිලමේවරයා හට පැවරෙන අතර කපු මහතුන් හට පැවරී ඇත්තේ දේවාලයේ තේවාව හා දේව පුජා සම්බන්ධ කටයුතු පමණයි.
මෙහිදී දේවාලයේ තේවා කටයුතු එක් එක් කපුමහතාට පැවරීමේ කළමනාකරණ රාජකාරිය පැවරී ඇත්තේ බස්නායක නිලමේවරයා වෙතයි. එම චාරිත්‍ර ධර්ම සහ නීතිය උල්ලංඝනය කරමින් ඉහත සඳහන් කපු මාමා සහ බෑණා අයථා ලෙස ඉදිරිපත් වීම මුල්කර ගෙනයි; ඔය කියන සිද්ධියට මුළ පිරුණෙ.
මෙය කපුමහතුන් දේවාලයට ලැබෙන ආදායමට ඇති තරඟය මුල්කොට පැණ නැඟුණු ගැටුමක් ලෙසත් සමහරුන් අර්ථකතනය කරනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේවාල සහ විහාරස්ථාන 254 කම පරිපාලන කටයුතු සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ගේ අධීක්ෂණය සහ මැදිහත්වීම සිදුවෙනවා. නමුත් ඇතැම් විහාර හා දේවාල වල එම ක්‍රියා පටිපාටිය එලෙසින්ම සිදුවන්නේ නැහැ. කතරගම දේවාලේත් එවැනි පරිපාලනමය ගැටළු තිබුණා. ඒවා නිවැරදි කර ගැනීමටයි අපගේ මේ උත්සාහය. ඒක මගේ යුතුකමක් වගේම රාජකාරිමය වගකීමක්. මා එසේ නොකළානම් දේවාලය සම්බන්ධ අක්‍රමිකතා මුල්කොට මා දෝෂ දර්ශනයට ලක්කිරීමට ඔබට වුවත් හැකියාවක් තිබෙනවා.
කතරගම දේවාලය සතු නිශ්චල සහ චංචල දේපොළ සම්බන්ධ හිමිකම ඇත්තේ කා සතුවද?
මේක සංකීර්ණ ප්‍රශ්නයක්; උදාහරණයක් හැටියට දේවාලයට ලැබෙන වටිනා පූජාභණ්ඩ සහ ඒවාට සිදුවන දේවල් පිළිබඳ නිශ්චිත ලේඛන හෝ එසේ සකස් කෙරෙන ක්‍රමවේදයක් පිළිබඳව මෙතෙක් අවධානය යොමුවී තිබුණේ නැහැ.
නමුත් පසුගිය වසරේ රජය මගින් ආරම්භ කර ඇති ව්‍යාපෘතියකට අනුව දේවාල හා විහාරගම් සතු සියලුම දේපොළ ලැයිස්තු ගත කිරීමත් භාණ්ඩ සමීක්ෂණය සහ ඊට අදාළ වාර්තා සැපයීමත් වාර්ෂිකව සිදුකෙරෙනවා. ඒ සම්බන්ධ සම්බන්ධීකාරකවරයා වශයෙන් කටයුතු කළ යුත්තේ ස්ථාන භාර කරු වන බස්නායක නිලමේවරයායි. ඒ අනුව කතරගම දේවාලය සම්බන්ධ ඒ වගකීම දැන් මා වෙත පැවරී තිබෙනවා.
ඉතා විධිමත් පරිපාලන ක්‍රියාවලියක් වන ඊට මෙතෙක් එමගින් අයථා ලාභ ලැබූ පාර්ශවයන්ගෙන් විරෝධතා එල්ලවීම සාමාන්‍ය සිදුවීමක්.
නමුත් බස්නායක නිලමේවරයෙකු පත්කරන්නේ යම් නිශ්චිත කාලසීමාවක් වෙනුවෙන් නේද?
අතීතයේ රජවරුන් විසින් සිදුකළ මෙම ක්‍රියාව වර්තමානයේ අදාළ පාර්ශව කරුවන්ගේ ඡන්ද විමසීමකින් රජය මගින් සිදු කෙරෙනවා. ඒ අනුව බස්නායකවරයෙකුගේ නිල කාලය වසර පහකට සීමා වෙනවා. නමුත් මෙතන දී සැලකිල්ලට ගතයුත්තේ බස්නායක නිලමේවරයා සතු රාජකාරීමය වගකීම් මිස නිල කාලය නොවේ. නිල කාලය අවුරුදු පහක් වුවත්, මාස තුනක් වුවත් නිලමේවරයා තම රාජකාරිය අකුරටම ඉටු කළ යුතුයි.
මගේ අරමුණ මගේ නිල කාලය තුළ මෙතෙක් පැවැති දේවාලය සම්බන්ධ පරිපාලන ගැටළු හැකිතාක් දුරට විසදා ගැනීමයි. එය දේවාලයේ යහපැවැත්ම උදෙසා වන වැදගත් ඉදිරි පියවරක් සේම කඳසුරිදුන් උදෙසා කරනු ලබන පූජෝපහාරයක් ලෙසද මා පෞද්ගලිකව විශ්වාස කරනවා.
‘මේ වගේ බස්නායක නිලමේවරයෙක් අපි ජීවිතේටම දැක නැහැ’ යනුවෙන් ඔබට එරෙහිව නැගී සිටි ලාල් අරාපක්ෂ නම් කපු මහතෙකු අගෝස්තු 23 වෙනිදා ලක්බිම පුවත්පතට පවසා තිබුණා.
එතුමාගේ කීම මම පිළිගන්නවා. මා වගේ රාජකාරියට කැපවූ බස්නායක නිලමේවරයෙක් මීට පෙර නොසිටි බව එතුමාගෙන්ම අසන්නට ලැබීම සතුටට කරුණක්. මම මේ කරන්නේ සිංහල රජදරුවන්ගෙන් හා පසුව ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ නීතිමය වශයෙන් තහවුරු වූ අදත් නීත්‍යානුකූල වැදගත් රාජකාරියක නිල වගකීම් ඉටුකිරීමයි.
මා රාජකාරියෙන් බැහැර අබමල් රේණුවක දෙයක්වත් මෙහිදී සිදුකර නැහැ.
ඔබ කරන්නේ රාජකාරියක්; නමුත් කතරගම කපු මහතුන් කරන්නේ තමන්ගේ පාරම්පරික උරුමය මත පදනම් වූ දේවකාරියක්.
1817 ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් පසු කතරගම දේවාලය වනසන්නට ඉංග්‍රීසීන් නොයෙක් උපක්‍රම යෙදුවා. ඒ කාලය තුළ පූජා චාරිත්‍ර වලට පවා බලපෑම් ඇතිවී තිබුණා. එනිසා කතරගම දේවාලය සම්බන්ධ ශාස්ත්‍රීය අධ්‍යයනය කරන විද්වතුන් වත්මන් කපු පරපුරේ ආරම්භය පරම්පරා තුනකට හෝ හතරකට සීමා වන බවට කරුණු ඉදිරිපත් කොට තිබෙනවා.

ඒ වගේම පාරම්පරික කපු උරුමය හිමි තවත් පරම්පරාවල් කිහිපයකට අද වන විට ඒ උරුමය අහිමි වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.
මා මේ ගවේෂණ වාර්තා එක්වරම පිළිගන්නේ නැහැ. නමුත් අවශ්‍ය වුවහොත් ඒවායෙන් ගතහැකි කරුණුද ඉස්මතු කර අවශ්‍ය තැන්වලදී දක්වන්න කටයුතු කරනවා.


නමුත් ඔබ හා ගැටුමට මුල පිරූ කපු මහතුන් පවසන්නේ ඔබ මැර බලය යොදා දේවාලයේ අයිතිය ඔවුන්ගෙන් සි’යතට ගැනීමට උත්සාහ කරන බවයි.
රාජකාරීමය වශයෙන් දේවාලයේ භාරකාරත්වය පිළිබඳ නිල වශයෙන් වගකීමක් දරණ මට ඒ සඳහා මැර බලයක් යෙදීමට අවශ්‍ය නැහැ. මා කරන්නේ සම්ප්‍රදායට, නීතියට අනුව මගේ රාජකාරී කොටස ඉටුකිරීම පමණයි. දේව කාරිය සහ රාජකාරිය සම්බන්ධ මෙම නිලය දරණ මා වැන්නෙක් මැර බලය වැනි පහත් තිරිසන් ක්‍රියාවක යෙදෙන බවට චෝදනා කිරීම එවන් ප්‍රකාශ කරන්නාගේ මානසිකත්වය එළිදැක්වීමක්.

මෙම ගැටුමට සම්බන්ධ කපු මහතුන් සිතාගෙන ඇත්තේ කතරගම දේවාලය ත්‍රී වීලර් පාක් එකක් වැනි තැනක් කියායි. සමහර ත්‍රී විලර් පාක් වල විවිධ අයථා බලපෑම් වලින් පිටස්තර ත්‍රි රෝද රථ ගාල් කිරීමට ඉඩ ලැබෙන බව අප අසා තිබෙනවා. නමුත් කතරගම දේවාලය සම්බන්ධයෙන් එවැන්නක් කිසිසේත් කිරීමට බැහැ. මෙයට ප්‍රබල සම්ප්‍රදායක් සහ නීතිමය පදනමක් තිබෙනවා.


ඒ අනුව මා ඔවුන්ට කියනවා; කතරගම දේවාලය ත්‍රී විලර් පාක් එකක් නොවේ කියා.
ඔබ දැනට හිඳින ස්ථාවරය සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සහ ජනාධිපතිවරයා සිටින්නේ කුමන අදහසකද?
මම දේවාලය සම්බන්ධයෙන් අනිසි බලයක් ක්‍රියාත්මක කර නැහැ. නමුත් මට හිමි රාජකාරිය සාම්ප්‍රදායික ලෙසත්, නීත්‍යානුකූල ලෙසත්, හෘද සාක්ෂියට එකඟවත් සිදුකිරීමට මම කිසිසේත් පසුබට වන්නේත් නැහැ.

ඒ අනුව මගේ මෙම ක්‍රියාමාර්ගයට බෞද්ධ කටයුතු කොමසාරිස් තුමාගේ, අග්‍රාමාත්‍ය තුමාගේ, ජනාධිපති තුමාගේ පමණක් නෙවෙයි කතරගම දෙවියන්ගේද ආශිර්වාදය ලැබෙන බව මට හොඳින් විශ්වාසයි. ඒ අනුව ඉදිරි දිනවල කතරගම දේවාලය සම්බන්ධ තම දේවකාරිය වඩාත් නිවැරදිව හා සාර්ථකව කිරීමට කපු මහතුන්ට ද අවස්ථාව ලැබෙනවා ඇති. අනුන්ගේ වැඩට අතනොගසා තමන්ගේ රාජකාරියේ පමණක් යෙදීම සඳහා කපු මහතුන්ට දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා කියා මා අවංකවම ප්‍රාර්ථනා කරනවා.


එතකොට ඔබ කියන්නේ මේ ප්‍රශ්නයේ දී කතරගම දෙවියන් ඔබේ පැත්තේ කියාද?
අයුක්තිය නසා යුක්තිය රජ කරවීමට කඳසුරිදුන් ඉදිරිපත් වන බව මා මුළු හදවතින්ම පිළිගන්නවා. ඒ අනුව කතරගම දෙවියන් මගේ මෙම උත්සාහයට ආශිර්වාදය සහ අනුග්‍රහය සලසන බව ඒකාන්ත සත්‍යයක්. නමුත් මගේ හෘද සාක්ෂියට අනුව මේ ගමන තවදුරටත් ඉදිරියට යනවා විනා අයුක්තිය සහ අසාධාරණය හමුවේ මේ බස්නායක නිලමේ ධුරයේ අභිමානය සහ ගරුත්වය මා කිසිසේත් පාවා නොදෙන බව ඒකාන්ත වශයෙන්ම සහතික කොට කිව හැකියි.

www.reader.lk