224 දෙනෙකුට අභියෝග කරන තෙවරප්පෙරුම..?

224 දෙනෙකුට අභියෝග කරන තෙවරප්පෙරුම..?


ශ්‍රී ලංකාවට සිදු වූ අපදා තත්වය හේතුවෙන් විපතටපත් ජනතාවට සහය වීමට සහ ආධාර බෙදා දීමට මේවන විට විශාල පිරිසක් එකතු වී තිබෙනවා.

එහිදී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ වැඩ පිළිවෙල විශේෂයෙන් කැපී පෙනුණා.



එසේ තිබියදී සමාජ ජාල වෙබ් අඩවි තුලින් ඔහු දැඩි කතාබහකට ලක් වුයේ මැතිඇමතිවරු සදහා මොහු උදාහරණයක් ලෙස පෙන්නමින්.


යම් පිරිසක් කියා සිටියේ ඔහු රටේ නායකයා ලෙසද පත් කළ යුතු බවයි.


කෙසේ වෙතත් ඔහුගේ ක්‍රියා කලාප සම්බන්ධයෙන් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂක වරයෙකු මෙන්ම මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරන මහින්ද රූබසිංහ මහතා තැබූ සටහනක් පහතින් බලන්න.


" 224 දෙනෙකුට අභියෝග කරන තෙවරප්පෙරුම..?

විපතටපත් ජනතාවට සහන සැලසීමේදී මැදිහත්වීම් කරන ආකාරය අනුව පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ආපදා කළමනාකරණ ඇමති, අගමැති, ජනාධිපති හෝ රටේ නායකයෙකු කළ යුතු බව ලොකු පොඩි බොහෝ දෙනා විවිධ මාධ්‍ය ඔස්සේ කියමින් සිටිති. මෙය සමහරු අවංකවත් තවත් අය වැඩ නොකරන, ජනතාවට සමීප නොමැති දේශපාලකයන්ට ඔච්චමක් හෝ සරදමක් ලෙසත් කියනු පෙනේ.

කෙසේවෙතත් "පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා" කවුරුන්දැයි මෙරට ජනතාව නිසි ලෙස හඳුනා ගෙන නොමැති බවට මෙය කදිම සාක්ෂියකි. එමෙන්ම එය ස්වකිය කාර්යභාරයය කුමක්දැයි මන්ත්‍රීවරුන් අවබෝධ කර නොගැනීම පිළිබද ගැටළුවකි.(ආපදා තත්වයකදී මැති ඇමතිවරුන්, දේශපාලකයන් තම සමීපයෙන් සිටීම ජනතාවට යම් ශක්තියක් විය හැකි බවද පිළිගත යුතුය) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කාර්යයභාරය වන්නේ රටේ නීති සම්පාදනයට, ප්‍රතිපත්ති සම්පාදනයට සහ මුල්‍ය පාලනයට දායක වීමයි.

ආපදා අවස්ථාවකදී පවා සිය පුද්ගලික මැදිහත්වීම්වලට වඩා මන්ත්‍රීවරයෙකුට කඩිනම් තීන්දු තීරණ ගැනීම් සහ විශාල පිරිසකට නායකත්වය දෙමින් විපතට පත්වූවන්ට සහන සැලසීම සදහා ප්‍රශස්ත මැදිහත්වීමක් කළ හැකිය. කෙසේ වෙතත් පාලිත තෙවරප්පෙරුම යනු අමුතුම මොඩලයකි. ඔහු සිය ඡන්ද පදනම ගැන සැලකිලිමත්වන බව සැබෑවක් වුවද වෙනත් දේශපාලකයින්ට සාපේක්ෂව ඔහු ජනතාවගේ බර කරට ගන්නා ආකාරයේ අව්‍යාජ බවක් පෙනේ. ඔහු මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සිටියදී රියදුරන් නොමැති අවස්ථාවල ට්‍රැක්ටරය තමාම පදවා ගෙන ගොස් ප්‍රදේශයේ කසළ එක්රැස් කරන බව මතුගම ප්‍රදේශයේ මිතුරන් කිහිපදෙනෙක්ම මා සමග කියා තිබේ.

ආපදා අවස්ථාවකදී පාලිත තෙවරප්පෙරුම හෝ වෙනත් ඕනෑම මන්ත්‍රීවරයකු, ඇමතිවරයකු තනි තනිව කරන මැදිහත්වීම සහන සේවයේ නිරත දහස් ගණනක් අතරට තවත් අයෙකු එක්වීමක් පමණි. එහෙත් ඔහු අපට ඉස්මතුවී පෙනෙන්නේ ප්‍රසිද්ධ චරිත මත අපගේ ආශාව නිධන්ගතව පවතින හෙයිනි. ප්‍රමුඛතාව(Prominence/Priority)මත ඔවුන් කෙරෙහි ආදරය මෙන්ම වීරත්වයද අපගේ සිතේ තැන්පත් කෙරේ. මේ හේතුවෙන් මේ බොහෝ දෙනා යෝජනා කරන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙක් 224 දෙනාද තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගේ මග යා යුතු බවයි.

ටෙලි නිර්මාණයකින් ජනතා සිත් දිනාගත් උපේක්ෂා ස්වර්ණමාලි(පබා) පාර්ලිමේන්තුවට තේරිපත්වන්නේ මෙකී ප්‍රමුඛතාව නිසා විය යුතුය. එය(පබා) ඇයගේ සැබෑ චරිතය නොවේ. එහෙත් අපේ රටේ මිනිස්සු සිත පිනවන මායාවටද ආශක්තය. හෘදයාංගමය. සංවේදීය. හොඳ හෝ නරක චරිත හෝ ප්‍රතිරුප වන්දනයට අප කැමතිය. එය අපට විනෝදයකි. වින්දනයකි.

පුදුමය එය නොවේ. එවැනි පිරිසක් පාර්ලිමේන්තු එවන අප ටික දිනකින් කියන්නේ "පොල් බූරුවන්" පිරිසක් රට කරවන බවයි. ඔවුන්ගේ අධ්‍යාපන ඇතුළු වෙනත් සුදුසුකම් ගැන සොයන්නේද පත්කර එවීමෙන් පසුවයි. "ඔය 225 ත් එක්ක පාර්ලිමේන්තුව යට වෙන්න ඕන", "ඕකුන් ටික දියවන්නාවේ කිඹුල්ලු කන්න ඕන" යනුවෙන් කියා සිටින්නේ මුලික වරද කළේ අපම බව අමතක කරමිනි. එසේ කියන ඔවුන්ම යළි "මෙච්චර දෙයක් වෙලත් ඒකා මේ පැත්ත පළාතේ අවේ නැහැ. ඊලග සැරේ ඡන්දේ ඉල්ලන්න වරෙන්කෝ" යයි චෝදනා කරති. ගමේ මළ ගෙදරට, දානේ ගෙදරට, මගුල් ගෙදරට හෝ ගමේ පන්සලේ පිංකමට නාවොත් දොස් කියති. අප කරන්නේ එකකි. බලාපොරොත්තු වන්නේ තව එකකි. නොකරාම කියන්නේ වෙනත්ම දෙයකි.

මෙහිදී තව කිව යුතු දෙයක් ඇත. මාධ්‍යයද වැඩි අවස්ථාව ලබා දෙන්නේ නිවැරදි තීන්දු තීරණ ගන්නා, ප්‍රතිපත්ති සම්පාදනය කරන දේශපාලකයාට නොවේ. ජනතාවගේ ක්ෂණික ඕනෑ එපාකම් හා ආශාව ඉටුකරන දේශපාලකයාටය. එය වෙනත් ක්‍ෂේත්‍රවලටද අදාළය. ගායක කිර්ති පැස්කුවල් රෝහලක ප්‍රතිකාර ලබන රෝගියෙකු ළගට ගොස් ගිටාරයක් වයා ගීතයක් ගායනා කිරීම රටම හොල්ලන, කතා කරන ප්‍රවෘත්තියක් වන්නේත් ඔහු පුදුමාකාර කැපවීමක් කළ වටිනා සංවේදී කලාකරුවෙකු ලෙස උත්කෘෂ්ටයට නගන්නේත් මේ නිසාය. එහෙත් රුපියල් කොටි ගණන් වියදම් කර රෝහල් ඉදිකර දෙන, වෛද්‍ය උපකරණ, යන්ත්‍ර සූත්‍ර ප්‍රදානය කරන, රෝහල් පවත්වාගෙන යාමට අඛණ්ඩව ඇපකැපවන පරිත්‍යාගශීලින් පිළිබද මාධ්‍ය වාර්තා කරන්නේ නැත. ජනතාවටද ඒවා දැනගැනීමට හෝ අගය කිරීමට ඕනෑකමක් නැත.

ඉදින් ඇත්තටම මිනිසුන් ගැන අපේ තක්සේරු කිරීම් නිවැරදිද? තවත් මාස දෙක තුනකින් මහ මැතිවරණයක් පැවැත්වුවහොත් පාලිත තෙවරප්පෙරුම ලංකාවේ වැඩිම මනාප ප්‍රතිශතය නොගනීද? "

-මහින්ද රුබසිංහ- 



ඔහුගේ ඡායාරුප පෙළක් පහතින් බලන්න.






www.reader.lk