Ringing tone Artist Vs Iraj

Ringing tone වලට අඬන සින්දු කියන අයට ඉරාජ්ගෙන් කනේ පහරක්

ඉරාජ් වීරරත්න මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි හරහා දැඩි වශයෙන් කතාබහකට ලක්වන චරිතයක් වී තිබෙනවා.

ඒ ඔහුගේ විවිධ නිර්මාණය විවේචනයට ලක් වීමත් සමගයි. ඔහු පසුගිය දිනක සහභාගී වූ වැඩසටහනකදී කල ප්‍රකාශයක් හේතුවෙන් ඉකුත් දින කිහිපයේ ඔහු පිළිබද විවිධ විවේචන සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දක්නට ලැබුණා.


සංස්කෘතිය කඩනවා යැයි පවසමින් ඔහු කල එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරනන්ගේ දැඩි අප්‍රසාදය ලක් වුණා.

ඒ සම්බන්ධයෙන් ප්‍රධාන පුවත් පතක වෙබ් අඩවියක් ඔහුගෙන් කළ විමසිමකදී ඔහු පවසා ඇත්තේ වචන දෙක තුනක් අල්ලා මෙලෙස පහර ගසන බවයි.

එලෙසම ඔහු එහිදී සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සංගීත ශේත්‍රයේ කිසිදු තරගකාරිත්වයක් නොදකින බවයි.

ඔහු පවසන්නේ එකම වර්ගයේ අඬන ගීත නිර්මාණය කර රිගින් ටොන් තුලට ඇතුලත් කරන බවයි.


ඔහු සමග කල සම්පුර්ණ සාකච්චාව පහතින් බලන්න.


ඉරාජ් මේ දවස්වල මොකද කරන්නේ?

පසුගිය සුමානේ මම අලුත් Music Video එකක් Release කළා, හින්දි සහ ඉංග්‍රීසි භාෂාවෙන්  මේ දවස්වල බොලිවුඩ්වල ගොඩක් ජනප්‍රිය කෙනෙක් වන නේහා කාකර් (Neha Kakkar) එක්ක. ඒක මේ දවස්වල You Tube එක හරහා ගොඩක් ජනප්‍රියවෙලා තියෙනවා. තව ඊළඟ මාසේ අලුත් සින්දු දෙකක් එනවා. එකක් ලංකාවට හැදුවා. අනිත් එක අමෙරිකාවේ බිල්බෝර්ඩ් ගීත දර්ශකයේ අංක එක ( Billboard - Music Charts  - No 1) වුණු ගායකයෙක් එක්කත් මම ගීතයක් හැදුවා. ඒ දේවල් ඉදිරියේදී දකින්න පුළුවන්. 

අන්තිමට Release කළ නච්නා ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද? 

ඒක You Tube වලින් No 1 වෙලා තියෙනවා නේපාලයේ සහ ලංකාවේ. ඒ වගේම ඉන්දියාවේ විශාල ප්‍රමාණයක් මේ ගීතය බලලා තියෙනවා. ඉතින් හොඳ ප්‍රතිචාර තවමත් ලැබෙමින් පවතිනවා.

ඉරාජ් හිතන්නේ ලංකාවේ Music Field එකේ  තරගකාරිත්වයක් තියෙනවද?  

අනේ නැහැ. මම නම් කිසිම තරගකාරිත්වයක් දකින්නේ නැහැ. නමුත් මම විශ්වාස කරන්නේ  ඕනෙම ක්ෂේත්‍රයක් තුළ තරගකාරිත්වයක් තියෙන්න ඕනේ. එතකොට හොඳ නිර්මාණ කරන්න පෙළඹීමක් වෙනවා. බලන්න දැන් තියෙන ගීත ටිකක් අරන්. එකම විදියේ අඬන සින්දු කරන්නේ Ringing tone වලට. ඉතින් කොහොමද තරගකාරිත්වයක් හැදෙන්නේ.

ලංකාව තුළ කොහොමද ඉරාජ් එක්ක ඉන්න පිරිස? 

මට එදා ඉඳන්ම ඉන්නේ රුප් සංගීතය අහන අය. ඒ අය බලාගෙන ඉන්නේ මම අලුත් සින්දුවක් කරනකම්, ඒ වගේම තමා තව පිරිසක් ඉන්නවා මට බණින්න බලාගෙන ඉන්නේ. හැබැයි කියන්න ඕනේ, ඒ බණින අය නිසා තමා ඒ සින්දු  ජනප්‍රිය වෙන්නේ. 

ඉරාජ්ට ඒ ලැබෙන බැණුම් ඉරාජ් දකින්නේ කොහොමද? 

මම 2004 අහංකාර නගරේ සින්දුව කරපු කාලෙත් මට බැන්නා, මොකක්ද මේ කරන්නේ නටනවා දඟලනවා කියලා. නමුත් මම කවුරැ කෑගැහුවත් මම බය නැහැ. මොකද මම කරන්නේ මට ඕනේ දේ. අනික මම ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකෙ වටේ ගිහින් තියෙනවා, සංගීතය දැකලා තියෙනවා. ඒ වගේම දකුණු ඉන්දියාවේ විජයගේ ෆිල්ම්වලට මම ගීත කරලා තියෙනවා. ඉස්සරහට මම බොලිවුඩ් චිත්‍රපට කිහිපයකත් වැඩ කරනවා. ඉතින් මේ රටේ අය තවම එහෙම දේවල් කරලා නැහැ. තවම අපේ අය ළිඳේ ඉන්න මැඩියා වගේ දූපත් මානසිකත්වයෙන් ඉන්නේ. බලන්න පොඩ්ඩක් හිතලා, අපේ සිංහල ගීත ආසියාතික රටවල්වල අය අහනවද? නැහැනේ. නමුත් අපි හින්දි ගීත අහනවනේ. ඕක තමා ඉතින් ඇත්ත තත්ත්වේ. 

 ලංකාවේ සංගීතය දකින්නේ කොහොමද? 

ජාත්‍යන්තරය එක්ක බලද්දී ලංකාවේ අපේ සංගීතය ඉන්නේ ගොඩාක් පිටිපස්සේ. අපේ අමරදේව සර් එහෙම ලොකු සේවයක් කළා, ලංකාවේ සංගීතයට. ඊට  පස්සේ ක්ලැරන්ස් මහතා, රෑකාන්ත අයියා, භාතිය සන්තුෂ් වගේ අය සංගීතයේ වෙනස්කම් ඇති කළා, නමුත් එතැනින් එහාට අද පරම්පරාව සින්දු කරන්නේ Ringing tone වලට දාන්න බලාගෙන. ඉතින් මම දකින්නේ එතැනින් එහාට අපේ පරම්පරාව හිතන්න ඕනේ. බලන්න කොලවරී ගීතය එහෙම, මුළු ලෝකය පුරාම ජනප්‍රිය වුණානේ. ඉතින් එහෙම දෙයක් කරන්නවත් අපේ අය උනන්දුවක් නැහැ.

Music Video? 

මම සින්දුව වගේම තමා Music Video එක ගැනත් වෙනස් විදියට අලුත් විදියට හිතනවා. පසුගිය කාලේ මම  කරපු ‘සිල් බිඳගත්ත’  ගීතය  ගැන ලොකුවට කතා කළා. විවේචනය කළා. නමුත් රටේ ජනගහනයෙන් හතරෙන් එකක් බලලා තියෙනවා. ඒ කියන්නේ  You Tube එක හරහා විතරක් ලක්ෂ 55ක් බලලා තියෙනවා. කොච්චර බැන්නත් 2016 අවුරැද්දේ වැඩියෙන්ම බලලා තියෙන ගීතය. 

කරපු ගීත අතරේ වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුණු ගීතය මොකක්ද? 

මෙහෙමයි. මම කරලා තියෙනවා වෙනස් වෙනස් ගීත. ලංකාවේ අපේ කාන්තාවන්ට සවුදි ගිහින් වෙන දේවල් ගැන, එතකොට පොලීසියෙන් වෙන දේවල් ගැන. තව මනුසතා කියලා ගීතයක් කළා, සිංහල මුස්ලිම් අන්තවාදීන් ගැන. නමුත් එහෙම යම් පණිවිඩයක් දෙන Music Video ගැන වැඩි කතාවක් නැහැ. අපේ මිනිසුන්ට ඕනේ මොකක් හරි දෙයක් අල්ලගෙන බැණලා ඒ මනුස්සයව වට්ටන‍්න කවුරැත් කැමති නැහැ කෙනෙක් ඉදිරියට යනවට. මම ඒක දකින්නේ කුහකකමක් විදියට. නමුත් වෙන රටවල් එහෙම නැහැ, එයාල හිතන්නේ ඔක්කොම එකතුවෙලා රටක් විදියට ඉස්සරහට යන්න. මේ රටේ එහෙම එකක් මම දකින්නේ නැහැ. ඔක්කොම තමන්ට කරගන්න තමා උත්සාහ කරන්නේ. 

2017 අවුරැද්දේ බලාපොරොත්තු? 

ඔව්. 2017 දී මගේ බලාපොරොත්තුවක් තියෙනවා, Akon එක්ක සින්දුවක් කරන්න. දැනටමත් ඒක කතා කරලා තියෙන්නේ. තව ඉතින් ජාත්‍යන්තරයේ ඉන්න ලොකුම අය එක්ක වැඩ කරන්න  මම බලාපොරොත්තු වෙනවා.

ජාත්‍යන්තරයත් එක්ක වැඩ කරද්දී කොහොමද ඉරාජ්ට ලැබෙන ප්‍රතිචාර? 

ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. මගේ තියෙන ආසියාතික හඬට ගොඩක් කැමැතියි. ඒ වගේම තමා FB සහ You Tube හරහා ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් මේ ආසියාතික රටවල අය ඒවා ගැනත් ගොඩක් හිතනවා. ඉතින් එයාලා කැමැතියි මා එක්ක වැඩ කරන්න.  

ඉරාජ් Gossip ගැන මොකද හිතන්නේ?

ඒ ඉතින් පහර ගහන්න කරන දේවල්. මොකද, අපි කියන දේ සම්පූර්ණයෙන් දාන්නේ නැහැනේ. මම කියන දෙයින් වචන දෙක තුනක් අල්ලගෙන පහර ගහන්න කරන දේවල් තමා ඉතින් Gossip වලින් කරන්නේ. මම නම් ඒවා ගැන හිතන්න කාලය යොදවන්නේ නැහැ. මම මගේ ගමන යනවා. මොකද, Ringing tone වලට ගීත කරලා ඒ හරහා මහා ගොඩක් සල්ලි හම්බකරගෙන කලාකාරයෙක් විදියට මැරිලා යන්න මට ඕනේ නැහැ.

 අවසාන වශයෙන් කියන්න යමක් ඇති? 

මගේ FaceBook  Page  එකක් තියෙනවා, ඒක like කරලා අලුත් සින්දු  තියෙනවා නම් මට එවන්න පුළුවන්. ඒ වගේම තමා අලුත් Music Video තියෙනවා නම් ඒවා වුණත් එවන්න පුළුවන්. මොනවා හරි අලුත් දෙයක් තියෙනවා නම් ඒවා වුණත් එවන්න පුළුවන්. ඒ වගේම මගේ අලුත් නිර්මාණත් ඒ හරහා බලන්න පුළුවන්. 


www.reader.lk